Monday, May 9, 2016

සිංහයා



කොළඹ වීදිය කොණක
යකඩ පාළම මෙපිට
බීර හල් දොරක සිට
දිනක් මට සිංහයෙක් ඉඟි කළා

බීර වීදුරු හතක්
තැම්බු කඩලත් සමඟ
හිස් කළායින් පසුව
සිංහයා හෙමින් දොඩමළු වුණා

කන්තෝරු වහල යට
ලොක්කන්ගෙ දෙපා මුල
නූහුලන අපහාස
විඳින්නෙ ලු සිංහයා
ලයිට් බිල් වතුර බිල්
ගෙවල් කුළි හාල් පොල්
පඩි පතෙන් විසඳන්න
බැරුවාලු සිංහයා

සුප්පාට අකැමැති ලු අම්මා
ගෙදරම ලු නංගිලා දෙන්නා
හොරෙන් කැන්දාන ආ
ආදරේ පහු දොරින්
පැන ගිහින් යැයි කියයි සිංහයා

සිංහ බා නූපන් ශෝකයෙන්
සුප්පාව කෙරෙහි ම කෝපයෙන්
හතර ගාතෙන් ගෙදර ගොඩවී
තළනව ලු සුප්පාට සිංහයා

පරපුරක අවසාන පුරුක ලු
විසඳුමක් පේන මානෙක නෑ ලු
හිර කරපු හිතක් මී විතක් ළඟ දිග ඇරන්
සුසුම් ලා හිනා වුණි සිංහයා

~ රුවන් නෙලූ

28/08/2014

හීනයක අවදියෙන්





කවි මල් ඇහැරවන

විල්ලූද තණ පිඩැලි රැඳවුණ

උසම උස කඳු සිරස් අද්දර

අනන්තය බඳු කාලයක් පසු

හුස්ම ගමි මම


කහ පාට මල්

සිනාසෙයි මට

මිහිදුම් තිරය අතුරින්

අතවනයි ගස්

ඈත සිට මට


මෑත ලේ වැගිරෙයි

හිමිකමක් ඉල්ලූ සොයුරු හද

හදට වැදි අකුණක්

නොසලකා හැරියාවත්ද මම ?


සොබාදම් සිරි විඳිනු කෝමද

හැරෙමි ආපසු

හිමි අහිමි අපෙ

ජීවිතය වෙත


මේ මම ය,

ඒ අහිමි කළ නුඹය


දිනා ගත යුතු

බොහෝ දේ මැද

ඒ අහිමි කළ නුඹය ….


නිමේෂයකට

චුට්ටකින් අඩු

කාලයක් තුළ

සිනාසෙමි මම


පැද්දෙන රේල්ලුව

කියාදෙයි ජීවිතේ ඇති තතු

ගැස්සි ගැස්සී ඇද්දෙන


ළඟ යැයි කියා

සිතෙනා හැම දේම

කොයි තරම් නම් දුරද ?

හැකියැයි කියා සිතුවාට

බැරි දේ ද

කළත් ඵල නැති දේ ද

පීල්ලක් කොඳුරා කියයි මට


තැලෙනා අතරතුර

හැමදාම

ළං වෙනු බැරි වුව ද

අනන්තය දුර ඈත තැනකදි

එකතු වෙන එක හීනයක් වුව

කොයිතරම් නම් අනේ සොඳුරුද ?


පිණි කැටක් වියැකෙන්න කලියෙන්

ලියන්නට තව බොහෝ දේ ඇත


රුධිරයක් මල් පැන් පොදක් වී

සමනළුන් මකරයින් වූ කළ

ලෝකයක් තිබෙන්නේ

හතරවැනි මානෙකද ?


සොඳුර,


ඇස් පියන් යට වුව ද

නොපෙනෙනා තව බොහෝ දේ ඇත

තමන්ගේ රුධිරයෙහි ගිළුණ ද

නොදැනෙනා දේ ඔව්, අපට ඇත


හුරු කෙරුණු තරමය,

කුමක් හෝ වැරදුණු නියාවක්

නොදැනෙනා තුරු

මිනිස්කම් දිය වී හැළෙන යුරු

නොදැක්කා සේ නොහැඟුණා සේ

ඉන්න නුඹ මා

හුරු කෙරුණු ඒ තරමය ..


බිඳිය යුතු වෙයි

සීහගිරි ශිඛරය

කුවේර ආලකමන්දාව

සියල්ලන් වැඳ වැටෙන

සියළු ලේ වැකි සිහිවටන හෙට


නූඹේ හිස හයියද ?



~ රුවන් නෙලූ

Sunday, May 8, 2016

මාතෘකාවක් නැති කව



මේ තරම් ලේ ගලාගිය බිමක
වෙව්ලනා දෑතකින් අකුරු කරනා අතර
කවි පෙළක ගලායන රිද්මයක් පිළිබඳව
වෙහෙසෙන්න අවංකව නොහැක මට

කටුක රළු වදන් වැල් අතර මැද
පොරබදන ආත්මය දැකගන්න
තාලයක් නොමැති පද පේළියක් කෙළවරක
ජීවිතය කෙරෙහි බැඳි ආලයක් විඳගන්න

සගය මා නොසොයන්න
මා දරන පාපයේ කුරුස බර දැකගන්න
මේ විඳින වේදනාවෙන් බිඳක් නුඹට ඇණ
දුන්නාට චෝදනා නොකරන්න

සමාවට කරුණු නොම විමසන්න
හමාගිය සුළඟකදි පමා විය ඇහැරෙන්න
මගිය මඟ නොදත් මා අමතන්න
අගය නිම කළ නොහැකි සිහිනයක් තියේ මට
මඟ සොයන අතරතුර පෙන්වන්න

~ රුවන් නෙලූ

28/07/2015